Thursday, January 27, 2011

රස ගුණ දෙන අපේ එළවළු

ගොටු කොළ
මොළයට හා ස්නායු පද්ධතියට හිතකරයි. මතක ශක්තිය දියුණු කරයි. ඇසට හිතයි. පීනස සමනය කරයි. ලේ පිරිසිදු කරයි. සම පැහැපත් කරයි. පණුරෝග නසයි. මුත්‍රාකාරකයි. මවුකිරි වඩයි.

මැල්ල
මැල්ල දළු ලුණු වතුරෙහි පොඟවා තෙලේ බැද හෝ කොටා මලවා මැල්ලුම වශයෙන් හෝ ආහාරයට ගත හැකිය. මස් පිඬු වේදනා, වාත රෝග, ආමවාත රෝගවලදී ගුණදේ.

මොණර කුඩුම්බිය
අක්මාවේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරයි. ශරීරගත විෂ පහකරවයි. ලෙය පිරිසිදු කරයි. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි. ආහාර ජීරණය හා අවශෝෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරයි.

කරපිංචා
අක්මාවේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. කුසගින්න දල්වා ආහාර රුචිය ඇති කරයි. ආහාර දිරවීම යහපත් කරයි. පණුරෝග නසයි. ද්‍රව මල කැටිකර මල පිටවීම යහපත් කරයි. ශරීරගත විෂ ඉවත් කරයි. අධික රුධිර පීඩනය හා ලේවල මේදය පාලනය කරයි.

දිය හබරල
දළු මෙන්ම මල්ද ව්‍යාංජනය සඳහා ගැනේ. හොඳ මුත්‍ර කාරකයකි. අතුල් පතුල් බඩ පපුව හා මුත්‍ර දාහය සමනය කරයි. පිත සමනය වේ. වාත රක්ත හා ප්‍රමේහ රෝග වලදී ගුණදායකය.

කිරි අඟුණ
කොළ මැල්ලුම ලෙසද, දළු සලාදය ලෙසද ආහාරයට ගැනේ. ලෙය පිරිසිදු කරයි. මල බද්ධය දුරු කරයි. මව්කිරි වඩයි. සම පැහැපත් කරයි. පණුරෝග හා සෙම සමනය කරයි. අධික රුධිර පීඩනය පාලනය කරයි.

තෙබු
දළු සලාදය වශයෙන් හා ව්‍යාංජනය වශයෙන් ආහාරයට ගත හැකිය. අර්ශස් හා අමිල පිත්ත රෝගයට ගුණදායකය. මල බද්ධය දුරු කරයි. පණුරෝග නසයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරයි. එහෙයින් සෙංගමාලය වැනි රෝගවලදීද ගුණයි.

ඇඹුල් ඇඹිලිය
කොළ රසවත් ව්‍යාංජනයක් වශයෙන් හෝ කලවම් පලාවට යොදා හෝ ආහාරයට ගත හැකිය. ආහාර රුචිය හා කුසගින්න වැඩි කරවයි. ආහාර ජීරණය යහපත් කරවයි. ද්‍රව මල කැටි කරයි. ග්‍රහණිය ශක්තිමත් කරයි. බඩ පිපීම සුවපත් කරයි. ග්‍රහණි අතීසාර රෝගවලින් පසු ආහාර දෙනවිට ඉතා හොඳ ව්‍යාංජනයකි.

නීරමුල්ලිය
ඉතා හොඳ මුත්‍ර කාරකයකි. ශරීරයේ ඉදිමුම් අවස්ථා අඩු කරයි. හෘදය ශක්තිමත් කරයි. ශරීරගත විෂ ඉවත්කරයි. ලෙය පිරිසිදු කරයි. වාත රක්ත හා ආමවාත රෝගවලදී ඉතා ගුණදායකය.