Tuesday, September 21, 2010

රූබරියක ගේ කථා වස්තුව

















අපේ පන්තියේ ඉගෙන ගත් නර්මදා බෙහෙවින් රූබර වූවා ය.

පන්තියේ සිටි අපේ යහළුවෝ කිහිප දෙනෙක්ම ඇයට වසඟ වී සිටියහ. ඈ පතා ඔවුහු දබර ද වූහ. නර්මදා ගේ පියා මිය ගොස් සිටියේ ය. දරු පවුල ගෙන යන්නට පියා ගෙන් උරුම වූ විශ්‍රාම වැටුප නොසෑහුණු බැවින් මව කඩයප්පන් හැදුවා ය.

උදෑසන පායන සඳක් සේ නර්මදා ද උදෑසන ම පායා අපේ පන්තිය එළිය කරන්නී ය. එහෙත් බාහිර තරුණයකු හා ඇගේ සම්බන්ධයක් පැවති බව පන්තියේ කිසිවකු දැන සිටියේ නැත. හිටි අඩියේ ම සඳ මැකී ගියේ ය. ඇය ඔහු හා සැඟව ගියා ය; ඉන්පසු කිසිදා පාසල් නාවා ය.

නර්මදා නැති අඩුව අපට තදින්ම දැනුණත් ටික කලකින් අපට ඇය අමතක විය. වසර ගණනාවකට පසු අපේ පාසල් දිවිය අවසන් විය. අපි රැකියා කරනු පිණිස සමාජයේ විසිර ගියෙමු.

මා අගනුවර රැකියාවට ගියේ දුම්රියෙනි. ඒ වන විට අලුත් මිතුරු කැළක් මා වටා සිටියහ. අප ගමන් කිරීමට පුරුදු ව සිටියේ එක ම මැදිරියක ය.

දිනක් අප මැදිරියේ ගමන් කරමින් සිටි පාසල් දැරියක් මගේ දෑස පැහැර ගත්තා ය. ඒ නර්මදා ගේ මුහුණේ ම පිළිබිඹුවකි. නර්මදා නැවත උපන් සේ ය.

තවත් දිනෙක, කුහුලින් යුතු ව මම ඇයට සමීප වීමි.

‘ඔයාගෙ අම්මගෙ නම නර්මදා ද?’

ඇය දෑස් ලොකු කර මදෙස බැලුවා ය.

‘අංකල් කොහොමද දන්නෙ? අපේ අම්මව දන්නව ද?’

‘ඔයාගෙ අම්මයි, මායි එක පන්තියෙ ඉගෙන ගත්තෙ’

ඇය සිනාසුණා ය. ඒ නර්මදා ගේ ම හිනාව ය.

‘ඒ කාලෙ ඔයාගෙ අම්ම හිටියෙ.... පැත්තෙ’

‘ඔව්, එයාගෙ මහ ගෙදර තියෙන්නෙ එහෙ’

එතැන් පටන් අපි දැන හඳුනා ගතිමු.

දිනක් මම ඇයට අදහසක් ඉදිරිපත් කළෙමි.

‘දුවේ, මට ඕනැ ඔයාගෙ අම්මව මුණ ගැහෙන්ඩ’

‘මං අම්මට කියන්නං අංකල්’

නියමිත දිනයේ මම දුම්රිය වේදිකාවේ බලා සිටියෙමි. නර්මදා දියණිය හා එහි ආවා ය.

ඇය මා බඳු ව ම වැඩී සිටිය ද අතීත තාරුණ්‍ය ලාලිත්‍යය ඈ සමඟම රැඳී තිබිණ. දියණිය පුදුම වී බලා සිටිය දී අපි පන්ති කාමරයේ වූ සිද්ධීන් මෙනෙහි කරමින් සිනාසීමු.

‘ඒක නෙමේ නර්මදා. කොහොමද ඔයාගෙ ජීවිතේ?’

ඇය සිය කතාව කීවා ය. එය කඳුළු කතාවකි.

ඇගේ සැමියා හදිසි අනතුරකින් මිය ගොස් සිටියේ ය. එතැන් පටන් ඇය දරු දෙදෙනා රැක බලා ගන්නට මහත් වෙහෙසක් දරා තිබිණ.

‘දැං අපි පුංචි ගේක කුලියට ඉන්නව. දරුවො දෙන්න ඉහළ පන්තිවල ඉගෙන ගන්නව. මාත් පුංචි රස්සාවක් කරනව.’ ඇය කඳුළු පිස ගත්තා ය.

අපි සමු ගතිමු.

වැඩි කලක් නොගියේ ය.

හිටි අඩියේ ම දියණිය ගේ දුම්රිය ගමන නැවතිණ. මගේ කුහුල වැඩිණ.

‘යාළුවට මොකද වුණේ?’ මම ඇගේ යෙහෙළියක ගෙන් විමසීමි.

‘ඇයි අංකල් දන්නැද්ද? එයාගෙ අම්ම කෝච්චියට පැනල මැරුණනේ!’

මා සියොළඟ සසල වී ගියේ ය.

වරුවක් නිවාඩු දැමු මම නර්මදා එදා කී මඟ සලකුණු ඔස්සේ ඈ පදිංචිව සිටි නිවෙස සොයා ගියෙමි. සෑහෙන වෙහෙසකින් පසු පුංචි ගෙවල් තවානක් මැද වූ ඇගේ පුංචි ගෙය සොයා ගැනීමට මට හැකි විය. ඇගේ අවමඟුල වෙනුවෙන් එල්ලන ලද සුදු ඉටි කොළ ද ගේ අසල ළෙල දෙමින් තිබිණ.

නර්මදා ගේ දියණිය ද මහලු මව ද එහි සිටියහ. ඇගේ මරණය ගැන කම්පා වූ මම නොදැනුවත්කම නිසා අවමඟුලට සහභාගිවීමට බැරි වීම ගැන කනගාටුව පළ කළෙමි.

සමුගෙන ආපසු එද්දී ඇගේ අසල්වැසියෙක් මට ඇගේ සැඟවුණු කතාව හෙළි කළේ ය.

ඒ අසා මම යළිදු සසල වීමි.

නර්මදා ලොවට රහසින් රැකියාවක් කරමින් සිටියා ය. ඒ සම්බාහන ආයතනයක ය. ඉහළ පන්තියක ඉගෙන ගත් සිය පුතු වෙනුවෙන් දරන්නට තිබු වැය ඇය සරිකර ගත්තේ මේ රැකියාවෙනි.

පුතු ගැන විශ්වාසය තබා සිටියා මිස ඔහු කරන කියන දේ සොයා බැලීමට ඇයට කාලයක් නොවීය. ඔහු අධම ලෝකයේ ගොදුරක්ව සිටි බව ඇය නොදැන සිටියා ය.

පුතු මත්කුඩු ද, ශෘංගාරය ද අඹා යමින් සිටි චරිතයක් ව සිටියේ ය. සිහි විකල්ව සිටි පුතු දිනක් සම්බාහන ආයතනය තුළට වැදුණේ අහම්බෙනි. මව එහි රැකියාව කරති’යි ඔහු දැන සිටියේ නැත. ඔහු තම කුටියට එති’යි ඇය ද හීනෙකින්වත් නොසිතුවා ය.

නර්මදා ආයතනයෙන් පිට වූයේ උමතු වූ පටාචාරාවක සේ ය. පටාචාරාව ද ඒ සා බරපතළ අවස්ථාවකට මුහුණ දී නොසිටින්නට ඇත.

නුවර - කොළඹ දුම්රිය වේගයෙන් ඇදී ආවේ ය. නර්මදා එය ඉදිරියට ආවේ සිහියෙන් දැයි අපි නොදනිමු. දුම්රිය ඈතට ගොස් නැවතිණ. එහෙත් නර්මදා සිටියේ නැත.

නර්මදා ඔබේ මතු භවය සැපවත් වේවා!


අඹගස්පිටියේ විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wednesday, September 15, 2010

ඔළුව හිස්

‘අම්මා, මගෙ බඩ කැක්කුමයි.’ කුඩා දියණිය තරංගා වෙත දුව එමින් කීවාය.

‘ඒ ඔයාගෙ බඩ හිස් හින්දා. උදේ ඉඳලම මුකුත් කෑවේ නෑ නේ ද?’ තරංගා කීවේ තරවටුවක ස්වරයෙනි.

එදා සවස ඇදේ ඇලවී සිටි තරංගා වෙත පැමිණි දියණිය විවිධ ප්‍රශ්න අසද්දී ඇය පසෙකට කළ තරංගා මෙසේ කීවාය.

‘කරදර කරන්ඩ එපා ළමයො. මගෙ ඔළුව කැක්කුමයි.’

‘ඒ අම්මගෙ ඔළුව හිස් හින්දා. ඔළුවේ මොනවා හරි තියෙනවා නං එහෙම වෙන්නෙ නෑ.’ කටකාර දියණිය කීවාය.

ජරා ගොඩ

‘හුටා... කටට මැස්සෙක් රිංගුවා.’ නාට්‍ය ශාලාවේ සිට තම මෝටර් බයිසිකලයෙන් නිවෙස බලා යමින් සිටියදී දයා පසුපසට හැරී තම බිරිඳ ඈන්ට කීවේය.

‘ඕක ගණන් ගන්න එපා අනේ. මැස්සො කොහොමත් ජරා ගොඩවල්වලට රිංගනවා.’ ඈන් පිළිතුරු දුන්නාය.

පවුල වගේමයි

කොළඹින් බැහැර ප්‍රදේශයක සේවය කළ දයානන්ද මෙවර තම නිවෙසට පැමිණියේ මාස තුනක ඇවෑමෙනි. තම නිවෙස වෙත දිවෙන මාර්ගය වෙත හැරුණු ඔහුට තමාට තරමක් ඉදිරියෙන් තම බිරිඳ යමුනා යනවා පෙනුණි. මාස තුනකින් නොදුටු බිරිඳට තම ආදරය එක්වරම පළ කරන්නට සිතූ ඔහු වහා දුවගොස් පිටුපසින් ඈ බදා ගත්තේ ය. ඈ තිගැස්සී ආපසු හැරෙද්දී දයානන්දට තරු පෙනුණි. ඈ තම බිරිඳ යමුනා නොවේ. ඒ හා සමාන වෙනත් කාන්තාවකි.

‘අනේ නෝනා, මට සමා වෙන්ඩ. මට හිතුනේ නෝනා මගෙ පවුල කියල. පිටිපස්සට හැරිලා ඉන්න කොට නෝනා අපේ පවුල වගේමයි.’ දයානන්ද කිවේ තතනමිනි.

‘කිසිම වග විභාගයක් නැතුව මහ පාරක ඔහොම හැසිරෙනවද මිනිහො? තමුසෙට ඔළුවක් කියල දෙයක් නැද්ද, මී හරකා.’ ඈ කෝපයෙන් පුපුරමින් බැණ වැදුණාය.

‘අනේ ඇත්තමයි නෝනා, නෝනා කතා කරන්නෙත් අපේ පවුල වගේමයි’ දයානන්ද කීවේ විස්මයෙනි.

ප්‍රේමය ජීවිතය හා ගීතය


හිතක මෙළෙක හිතාගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

”ආදරය, ප්‍රේමය කියන්නේ සුන්දර මාතෘකාවක්. එය සුන්දර විදිහට දැක්කොත් තමයි රසවිඳින්න පුළුවන් වෙන්නේ. ආදරය ආත්මාර්ථකාමි නැහැ. මානව සමාජයේ පැවැත්ම සඳහා ආදරය, ප්‍රේමය අවශ්‍ය දෙයක්. ප්‍රේමය විවිධාකාරයි. මවුපියන් දරුවන්ට දක්වන ආදරය සෙනෙහසත් මේ අතර වෙනවා. මිනිසුන් මිනිසුන්ව තේරුම් ගත යුතුයි. එහෙම නැතුව පෙම්වතුන් පෙම්වතියන් ප්‍රේම කරන්න ගියොත් හදවත තුවාල වෙනවා. මට පෙම්වතුන්ට පෙම්වතියන්ට කියන්න ඕන වුණේ ඒ දෙය.

ප්‍රේමණීය තේමා ඔස්සේ විවිධ මානයන්ගෙන් ගේය පද රචනා කළ රඹුකන සිද්ධාර්ථ හිමියන් වික්ටර් රත්නායක සංගීතවත් කළ අබේවර්ධන බාලසූරිය ගයන,

”මලක මෙලෙක හිතා ගන්න
බැරි අතකින් මල් නෙළන්න
එපා යාළුවේ
හිතක මෙළෙක හිතාගන්න
බැරි හිතකින් පෙම් කරන්න
එපා යාළුවේ...”

ගීතය ලියන්න පාදක වූ කරුණු එසේ යැයි පැවැසුවේය.

ආදරවන්තයන්ට පුංචි පණිවුඩයක් ද දෙමින් ඇරඹූ ඒ ගීයේ අවසානයේ තියෙන්නේ අවවාදයක්.

”රුවට රුවේ මල් පිපුණට
තරග වැදි මල් නෙළුවට
මලට ආදරේ නැත්නම්
මල මියයාවි
ලොවේ ආදරේ නොලදුව
පෙති ගිලිහේවී.”

ප්‍රේමයක් ආරම්භ කිරීමට පෙර සිතිය යුතු දේ එසේ වුවද සිතට ප්‍රේමයක් ආදරයක් ඇතුළු වන්නේ අනාරාධිතවමය. එහෙත් සිතා බැලිය යුත්තක් ඇත. මලක සියුම්බව තේරුම් ගත නොහැකි නම් මලක් නෙළන්නට පෙර ඒ ගැන මොහොතක් සිතිය යුතුය. ආදරය ද එසේමය. අනෙකාගේ සිත තේරුම් ගැනීමට නොහැකි නම් ඒ ප්‍රේමයෙන් ඵලයක් නැත.

”හිතන සියුමැලි බව හඳුනා ගන්නට බැරි නම් පෙම් කිරීමෙන් ඵලක් නැහැ. ආදරයක් ඇරඹීමෙන් පසුව එය බිඳී ගිය පසුත් සුනිල් සරත් පෙරේරා මහතා කියන අයුරින්

”පෙරදිනයක මා
පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා”

ඒ දෙස මැදහත්ව බලන්න පුළුවන් නම් එයයි වටින්නේ. එහෙම නැති වුණොත් එය වැරදියට තේරුම් ගත්තොත් “රුචිරාණනියේ එකපාර මා මරන්න” වගේ දේ තමයි කියැවෙන්නේ. ප්‍රේමයක් ඇරඹුණු පසුව එය බිඳීයන්න විවිධ හේතු තියෙන්න පුළුවන්.





නමුත් පේ‍්‍රමය බිඳී ගියා කියලා ඒ ප්‍රේමය වෛරයකට හැරවීමක් සිදුවෙන්න බැහැ. ඒක සාධාරණ නැහැ.

විවිධ සමාජ තල තුළදි හමුවූ අය හමුවී වෙන්වූ අය එමටය. කලෙකදි හමුවූ අය කලෙකදි වෙන්වෙලා.

එනමුදු ඒ ළබැඳිකම් වෙනුවෙන් මතුවූ කඳුළු ද ඇස්යට නැතිවම නොවේ. එම්.ආර්. චුලසිංහ සංගීතවත් කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන

”මේ ඉරහඳ යට
හමුවී ආදරයෙන් කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ”

ගීතයටත් සිද්ධාර්ථ හිමියන්ට කියන්නට පැහැදිලි හේතුවක් තිබුණා.

ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියේ විවිධ සමාජ තලවලදි හමුවෙනවා වෙන්වෙනවා. පාසල් ජීවිතය, විශ්වවිද්‍යාල ජීවිතය, රැකියා ස්ථාන, සමාජයේ විවිධ සම්බන්ධතාවලදි හමුවෙනවා, සුහද වෙනවා, විවිධ හේතු, ස්ථාන මාරුවීම් ආදිය ලැබිලා වෙන්වෙලා යනවා.

”පියෙහි විප්පයෝගො දුක්ඛෝ” බුදු හාමුදුරුවෝ දේශනා කළේ එහෙමයි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක්. මෙන්න මේ බුදු වදන තමයි මේ ඉරහඳ යට ලියන්න තේමාව වුණේ.

”නුඹට හිතැති නුඹ හිත නැති ගීතය ලියැවෙන්න බලපෑවේ මොනවගේ සිදුවීමක්ද?

මෙයත් මා සමාජයේ ලැබූ අත්දැකීමක් තමයි. බොහෝවිට තමන් ආදරය කරන කෙනා තමන්ට කැමැති නැහැ. එහෙම වුණත් ඒ ආදරයම ප්‍රාර්ථනා කරන පෙම්වතුන් පෙම්වතියන් මේ සමාජයේ ඉන්නවා. එයයි මෙහි අත්දැකීම.

ඔහු ඇයවම ප්‍රාර්ථනය කරන්නේය. එසේ වුවද ඈ තුළ ඔහු ගැන කැමැත්තක් නැත. නමුදු ඔහු හෙට හෝ අනිද්දා හෝ නොව කවදා හෝ ඇයගෙන් ආදරණීය වදනක් එනතුරු මඟ බලන්නේය, සිහින දකින්නේය.

නුඹට හිතැති නුඹ හිත නැති
හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන්
හෙටක් පතනවා

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට එඩ්වඩ් ජයකොඩි ගැයූ ගීතයක් ඒ.

ප්‍රේමයට අවවාද මෙන්ම සමාජයට පෙම් ගී තුළින් ආදරණීය පණිවුඩ ද ඉදිරිපත් කරන සිද්ධාර්ථ හිමි ප්‍රේමයක් ආරම්භ කිරීමට සූදානම් වන නංගිලා මල්ලිලාට මෙසේ කියයි.

”කඳුළු පැන් කෙණ්ඩියක්
සිනා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ”

”වික්ටර් රත්නායකයන්ම සංගීතවත් කර ගායන මේ ගීතයෙන් මට කියන්නට ඕනෑ කළේ දුක සහ සැප කියන දෙකම ජීවිතය සමඟ එකට යන දෙයක්.

පෙම්වතියක් පෙම්වතෙක් වුණාට පස්සේ ජීවිතේ දුක සැප දෙක විඳගන්න බැරිව ගැටුම් ඇති වෙනව නම් ඒ ප්‍රේමයෙන් ඵලක් නැහැ. ජීවිතය සමබරව ගෙනයන්න ඉගෙන ගන්න කියන දෙය තමයි මේ ගීය හරහා කරන්න ඕනැ වුණේ.”

ප්‍රේමය, ආදරය පිළිබඳව ලියැවෙද්දි ඉර, හඳ, තරු මල්, ඇළදොළ, රාත්‍රිය නැතිවම බැරිය. ඒ ඇයි... මම සිද්ධාර්ථ හිමියන්ගෙන් විමසුවෙමි.

ප්‍රේමය කියන්නේ සුමුදු, සුලලිත, සොඳුරු සොබාදහම හා බැදුණු දෙයක්. මේ සුලලිත ප්‍රේමය ගැන කියන්න ලෝකයේ ඇති සොඳුරුම වස්තු තමයි ගහකොළ, ඉරහඳ, තරුමල්. මේ දේවල් මිනිස් ජීවිතය හා බද්ධ වූ දේවල්. එදා පටන්ම ආදරය හා බැඳුණු නිර්මාණ සමඟ මේ දේවල් උපමා රූපක ආදියෙන් භාවිත කෙරෙනවා.

හමුවීම, වෙන්වීම මෙන්ම නොලැබීම ද එයින් සිත්රිදවා ගන්නවුන්ට හිත් හදා ගැනීමට ද මඟ ලකුණු කියමින්, පෙම් පණිවුඩ, ආදර්ශ, අවවාද දෙමින් සරල සුගම බස් වහරක් ඔස්සේ ප්‍රේමයේ විවිධ ඉසව් ඔස්සේ ගී පද රචනා කළ සිද්ධාර්ථ හිමි යශෝධරා දේවිය ගැන ද ලියන්නේය. සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැර ගිය පසු ශෝකයෙන් සිටි යශෝධරා දේවිය සිද්ධාර්ථ කුමරු බුදු පදවි ලබා තම මාළිගයට වැඩම කළ විට ඇය බුදු හිමි පාමුල හඬා වැටුණේ ළපටි බෝ පතක් සෙලවෙන අයුරිනි.

”ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී”

එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීය පිළිබඳව සිද්ධාර්ථ හිමියෝ මෙසේ පවසති.

”සිදුහත් යසෝදරා ප්‍රේමකතාව සුන්දර ප්‍රේම කතාවක්. ඒ ආදරය ආත්මාර්ථකාමි නැහැ. ආදරය මෙන්ම එහි අතහැරීමත් තියෙනවා. සිදුහත් අතහැරලා ගියහම යසෝදරා කිව්වේ,

කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිබෙන රැස්මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සැදේවා

කියලා. ඇය තුළ උපරිම ආදරය තිබුණා. එය සංසාරෙන් සංසාරෙට රැගෙන ආ ආදරයක්.

ආදරය ආත්මාර්ථකාමි නොවුණහම තමයි ඒ ආදරයෙන් ලොවුතුරු මිහිරියාවක් අත්විඳින්න පුළුවන් වෙන්නේ. සංසාරෙන් සංසාරෙට ආ යසෝදරාවන් නිවන් දකින තුරුම ඔහු පසුපස ආවා. අවසානයේ ඈ සතුටු වෙනවා. සිත සනසා ගන්නවා.”

”තැලී සෙමෙන් සිත සැළි හඬන විට
වැටි දෙපා ළඟ යසෝදරාවෝ
පිපි නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ”