Thursday, December 2, 2010

ඒඩ්ස් වලක්වමු


මෙවර ලෝක ඒඩ්ස් දිනය හා සබැඳී තේමාව පොරොන්දු සුරකිමුඒඩ්ස් වළකිමු. (Keep the promises, stop Aids) යන්නයි. ඒඩ්ස් රෝගය වැළකිය යුතුමය. නමුත් ඒ සඳහා රක්‍ෂා කළ යුතු පොරොන්දු මොනවාද? මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඔස්සේ මෙවර ඒඩ්ස් දිනය හා සබැඳී පසුබිම පහදාගත හැකි වනු ඇත.

2005 වන විට ලෝක තත්ත්වය සැළකූ විට මෙතෙක් ලොව පුරා ඒඩ්ස් රෝගය නිසා මිය ගිය මිනිසුන් සංඛ්‍යාව මිලියන 20 කි.එමෙන් දෙගුණයකට ආසන්න සංඛ්‍යාවක්, එනම් මිලියන 36.4 ක් HIV වෙරසය ආසාදිතව විවිධ රෝගී අවස්ථාවල පසුවෙමින් ජීවත් වෙති. වෛරස ආසාදිතයන්ගෙන් මිලියන 25.4 ක්ම අප්‍රිකානුවන්ය. එයිනුත් වැඩිම සංඛ්‍යාවක් සිටින්නේ ලෝක සිතියමේ සහරා කාන්තාරයට දකුණින් ඇති රටවලය. ඊළඟට වැඩි රෝගීන් සංඛ්‍යාව සිටින්නේ ආසියාවේය. අපේ අසල්වැසි ඉන්දියාවේ පමණක් ඒඩ්ස් රෝගීන් මිලියන 5.2 ක් සිටින සැබෑව අනුව අපේ රටද අනාරක්‍ෂාවේ මුවවිට සිටින බව ඉඳුරා පසක් කරවයි.

ඒඩ්ස් රෝගය මානව සංහතිය විෂයෙහි මේ සා හානියක්, ඛේදවාචකයක් සිදු කරන්නට තරම් බලගතු සතුරෙක් වූයේද වගක් නොමැති අපේම ලිංගික හැසිරීම් රටාවන් නිසාය. මුල් කාලයේදී යුරෝපීය රටවල් ප්‍රබල ලෙස ගිල ගනිමින් සිටි මේ රෝගය දැන් දැන් අප්‍රිකාව හා ආසියාවේ දිළිඳු ජනතාවගේ ජීවිත බිලිගන්නට සැදී පැහැදී සිටී. යුරෝපීයයන් හා ඇමෙරිකානුවන් මේ රෝගයට අළුතින් නතුවීමේ පැහැදිලි අඩුවක් පවතී. මේ රටවල් උපායශීලීව ඒඩ්ස් රෝගයෙන් ඈත් වෙමින් සිටියදී ඒ අනතුර ආසියාව, අප්‍රිකාව අන් වරදාටත් වඩා ගිල ගනිමින් සිටින්නේ කවර නම් හේතුවක් නිසාද යන්න විමසිය යුතුය.

ඒඩ්ස් රෝගය මානව සංහතිය විෂයෙහි මහත් ඛේදවාචකයක් බවට පත්වන අනතුර හඳුනාගැනීමෙන් පසුව 2001 ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ මහා මණ්ඩල සැසි වාරයක් පවත්වන ලදී. ඒඩ්ස් රෝග මර්ධනයට ලෝක ව්‍යාප්ත වැඩ පිළිවෙලක් සකස් කිරීම මෙහි අරමුණ විය. UNGASS - United Nations General Assembly Special Session on HIV/Aids නමැති එම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සුවිශේෂී සමුළුවක් විය. එක්සත් ජාතීන්ගේ ඉතිහාසයෙහි කිසියම් රෝග තත්ත්වයක් විෂය කරගෙන මහා මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට යෙදුණා නම් ඒ මෙම සැසිවාරයයි. මෙම සැසි වාරයේදී සමස්ත ලෝක ප්‍රජාව නියැදියක් සේ සළකා ඔවුන් අතුරින් අවාසනාවන්ත ලෙස එච්.අයි.වී. / ඒඩ්ස් රෝගයට නතු වන අයට ප්‍රතිකාර කිරිමේ / නිරෝගී උදවිය ආසාදිතයන් බවට පත් නොවීමේ ලෝක ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කරන ලදී.

එහිදී ලෝක නායකයන් එකඟතාවයක් ඇතිකරගන්නා ලද ප්‍රධාන කරුණු කිහිපයකි.

- එච්.අයි.වී./ ඒඩ්ස් අවදානම පිළිබඳව සමාජය දැණුවත් කිරීම

- ආසාදනයට රැකවරණය, ප්‍රතිකාර හා අවශ්‍ය උපකාර සැපයීම

- ආසාදිතයන් කොන් කිරීමෙන් වළක්වා ගැනීම

මෙම අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා සිවිල් සමාජයේ, ව්‍යාපාරික ප්‍රජාවේ හා අනෙකුත් සියළුම කණ්ඩායම් වල සහයෝගය ලබා ගැනීම, ළමා, ළදරු අසරණ භාවයට පත් ආසාදිතයන් පිළිබඳව සොයා බැලීම, අවදානම් සහගත ලිංගික චර්යාවල යෙදෙන අයගෙන් රෝගය ව්‍යාප්ත වීමේ ඉඩකඩ හඳුනාගෙන ඒවා අහුරාලීම වැනි කාරණා සාක්‍ෂාත් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් කෙටුම්පත් කර ගන්නා ලදී.

ඒඩ්ස් රෝග කාරක විෂබීජය පරාජය කිරීමට සමත් ඔසුවක් තවමත් හඳුනාගෙන නොමැති බව සත්‍යයකි. නමුත් ප්‍රතිරෙට්‍රොවෛරස කාණ්ඩයට අයත් ඖෂධ මගින් ශරීරගතව පවතින HIV වෛරස සංඛ්‍යාව අවම මට්ටමක පවත්වා ගැනීමට හැකි වේ. මේ අනුව රෝගියාට ඇතිවන සංකූලතා අවම කරගත හැකි වන අතර ඔහුගේ ජීවිත අපේක්‍ෂාව සැළකිය යුතු කාලයකින් ඉහළ නංවාගත හැකිවේ. දියුණු වන රටවල සුඛිත මුදිත ජනතාව අතරින් හඳුනාගන්නා රෝගීන්ට මේ නිසා ඒඩ්ස් රෝගය නිසා ඇති කරන සංකූලතා අවම විය. ප්‍රතිරෙට්‍රොවෛරස කාණ්ඩයේ ඔසු ඉතා අධික මිළ ගණන්වලට අලෙවි වේ. මේවා තෙවැනි ලොව දිළිඳු රටවල දුප්පත් රෝගීන්ට මිළට ගැනීම යනු හුදෙක් සිහිනයක්මය. අඩු තරමේ එරට ආණ්ඩුවලට වත් මේ ඖෂධ මිළට ගැනීමට හැකියාවක් නැත. මේ නිසා ප්‍රතිරෙට්‍රොවෛරස දිළිඳු රෝගීන්ටද ලබාදීමට හැකිවන මානුෂීය වැඩ සටහනක අවශ්‍යතාවයද මේ සමුළුවේදී අවධාරණය කෙරිණි. ඒ යටතේ ,3 එද 5, නමින් විශේෂ ව්‍යාපෘතියක් බල ගන්වන ලද අතර ඒ අනුව 2005 වර්ෂය වන විට මිලියන 3 ක රෝගීන්ට ප්‍රතිරෙට්‍රොවෛරස ලබාගැනීමේ ඉඩකඩ ඇති කරලීමට එකඟතාවක් ඇති කරගන්නා ලදී.

ඒඩ්ස් නිවාරණ පර්යේෂණ සඳහා වන පහසුකම් ඇතිකරලීමද විශාල වැදගත්කමක් දැරූ අතර ඒ සඳහාද කිසියම් ස්ථාවර මූල්‍ය ප්‍රභවයක ඇසුර පර්යේෂකයනට ලබාදීම කාලීන අවශ්‍යතාවයක් වී තිබිණ.

UNGASS විශේෂ ලෝක නායක සමුළුවේදී ඇති කරගන්නා ලද එකඟතාවයන් මේ ආකාරයට පෙළ ගැසින. පළමු වතාවට තෙවැනි ලෝකයේ රටවල දුගී රෝගීන්ට පිළිසරණ විය හැකි වැඩ පිළිවෙලක් කෙටුම්පත් වීම නිසා UNGASS සමුළුව ඵලදායී සමුළුවක් බවට පත් විය.

2005 ඒඩ්ස් දිනයේදී පොරොන්දු සුරකිමුයැයි දැක්වෙන්නේ මෙන්න මේ පොරොන්දු මල්ලයි. අඩුපාඩුකම් මධ්‍යයේ වූවත් UNGASS පොරොන්දු මාලාව ඉටු කරලීමට ජගත් ප්‍රජාව කැපවීමෙන් ක්‍රියා කිරීම සුභදායී ලකුණකි.

'3 to 5' විශේෂ ව්‍යාපෘතියට අනුව මේ වර්ෂය වන විට මිලියන 3 ක ජනතාවකට ප්‍රතිරෙට්‍රොවෛරස ඖෂධ ලබාගැනීමේ ඉඩකඩ හිමිවිය යුතුව තිබුණි. නමුත් සැබවින්ම මේ වන විට ඒ අවස්ථාව ලැබීමට වාසනාවත් තිබෙන්නේ මිලියනයකට තරමක් වැඩි රෝගීන් ප්‍රමාණයකි. නමුත් 2005 ඉලක්කගත වර්ෂය වෙනුවට එම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2015 වසර දක්වා ක්‍රියාත්මක වැඩසටහන් පවත්වා ගැනීමට ගෙන ඇති ප්‍රශංසනීය පියවර තුළින් නුදුරේදීම සියළු ඒඩ්ස් රෝගීන්ට තම ජීවන තත්ත්වය වඩා යහපත් කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

අපේ රට සම්බන්‍ධයෙන් සැළකූ විට මේ වසර අපේ ඒඩ්ස් රෝගීන් සියළු දෙනාටම ප්‍රතිරෙට්‍රොවෛරස ලබා දීමට දැන් හැකියාව ලැබී තිබේ. පෞද්ගලික වශයෙන් මේ ඖෂධ මිළයට ගැනීමට සිදුවූවා නම් ඒ සඳහා හැකියාව ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවකට පමණි.

අපේ සෞඛ්‍ය අංශ ප්‍රතිරෙට්‍රොවෛරස ලබා දෙන ලෙස මීට ඉහත ජගත් සෞඛ්‍ය ආයතන ආධාර ආයතන වෙතින් කරන ලද ඉල්ලීම් වලට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ සිටින රෝගීන්ට මේ තරම් වටිනා ඖෂධ ලබා දිය නොහැකි නිසා නිවාරණ වැඩ සටහන්වලට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි. නමුත් දැන් අපේ රටේ සියළුම ඒඩ්ස් රෝගීන්ට මේ වසරේ සිට මිළ අධික වටිනා ප්‍රතිරෙට්‍රොවෙරස ඖෂධ ලබාදීමට හැකිව තිබෙන්නේ මේ සමුළුවලදී ඇති කරගන්නා ලද ආකල්පමය වෙනසට පිං සිඳු වන්නටය.

2005 සැප්තැම්බර් මාසය වන විට ලැබුණු සංඛ්‍යා ලේඛණ අනුව දැනට අපේ රටේ රෝගීන් 712 ක් වාර්තා වී තිබේ. ඉන් 139 ක් මියදී ඇත. මේ සංඛ්‍යා ලේඛණ පිළියෙල වන්නේ ප්‍රතිකාර පිණිස එන රෝගීන් ඇසුරිණි. නමුත් මිට වඩා බෙහෙවින් වැඩි ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් අපේ රටේ සිටිනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. නොදැනුවත්කම හා වෙනත් හේතූන් නිසා ඔවුන් ප්‍රතිකාර පිණිස යොමුවන්නේ නැත. මෙහි ඇති අවදානම නම් ඔවුන් වෙතින් තවත් බොහෝ දෙනෙකුට රෝගය නතුවීමට ඇති ඉඩකඩයි.

ප්‍රතිරෙට්‍රොවෛරස සුලබ වීම නිසා මේ අනාවරණය වී නොමැති රෝගීන් තවත් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර මඟට පිළිපන් වනු ඇතැයි ජාතික එච්අයිවී/ ඒඩ්ස් ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩ සටහන විශ්වාසය පළ කරයි.

ඒඩ්ස් රෝගය පැතිර යාම වළක්වාලීම සඳහා ජනතාවට ලබා දිව යුතු පණිවිඩ කවරේද? 20 වසරක් පුරා ඒඩ්ස් රෝගය අපට ඉගැන්වූ පාඩම්යන මැයෙන් ඉදිරියේදී හමුවන ලිපියක දැක්වෙන ආකාරයට අප මීට පෙර ලබාදුන් බොහෝ පණිවිඩ ජනතාව ග්‍රහණය කරගත් බවක් පෙනෙන්නට නැත.

එක් විශ්වාසවන්ත සහකරුවෙකු සමග පමණක් ලිංගික ආශ්‍රය පවත්වාගන්න...කීවාට ඉන්දියාවේ ඒඩ්ස් රෝගයට ලක්වූ බහුතර කාන්තාවන් පවසන්නේ තමා දිවි හිමි කොට සැළකූ හිමි ම මිස අන් අයෙක් නොපැතූ බවත්, ලිංගිකව එක් නොවූ බවත් නමුත් දේවත්වයෙන් සළකූ ඒ සැමියාම තමාට ඒඩ්ස් රෝගය ගෙනැවිත් දී තිබෙන බවයි. පසුගිය වර්ෂයේ ඒඩ්ස් දින තේමාව බාලිකාව කාන්තාව හා ඒඩ්ස්යන්නයි.

මේ වන විට අපේ රටේද නොවිය යුතු තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

2005 ජූනි අවසානය වන විට අපේ රටෙන් වාර්තා වූ සමස්ත ළදරු / ළමා ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 17 කි.නමුත් 2005 ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් යන කාර්තුවේදී පමණක් ළදරු / ළමා එච්.අයි.වී. ආසාදිතයන් පස් දෙනෙක් හඳුනාගැනීමට ලැබිණ.

මුල් කාලයේ අපේ රටේද වඩාත් හිටියේ පිරිමි එච්.අයි.වී. ආසාදිතයන්ය. නමුත් මේ වනවිට පිරිමින් පමණටම කාන්තාවන්ද රෝගයට නතුවීමේ අවදානමක් පවතී. වාර්තාවලට අනුව සැප්තැම්බර් මාසය වන විට එච්.අයි.වී. ආසාදිත පිරිමින් 417 ක්ද කාන්තාවන් 295 ක්ද හඳුනාගත්හ. දැන් එම ආසාදිත පිරිමි, ගැහැණු අනුපාත 1.4 : 1 බවට පත්ව තිබේ. මේ සංඛ්‍යා ලේඛණ පසක් කර දෙන සත්‍යය නම් අනාගතයේදී දරුවන්ද මේ තර්ජනයට වැඩි වැඩියෙන් ලක්විය හැකි බවයි.

ඒඩ්ස් රෝගයෙන් වැළකීමට අප කළ යුත්තේ කුමක්ද? හුදෙක් ඒ සඳහා නීති රිති දැමීමම ප්‍රමාණවත්ද? මීට කලකට පෙර බටහිර සංස්කෘතිය විසින් ලබා දුන් අමනෝඥ ලිංගික නිදහස පෙරදිග අප විසින් පිළිකුල් සහගත, නින්දා සහගත කරුණකැයි දැඩි ලෙස හෙළා දකින ලදීි. මුල් කාලයේ සරුවට ව්‍යාප්ත වූ ඒඩ්ස් රෝගය ඒ රටවලට දෙවියන් දුන් දඩුවමකැයි කියන්නට තරම් ඇතැමුන් ඉදිරිපත් වූහ. නමුත් ඒ රෝගයේ බිහිසුණු හැඩරුව අවබෝධ කරගත් බටහිර ජාතීන් තම ලිංගික හැසිරීම් බරපතල ලෙස සීමා කරමින් රෝගයේ ව්‍යාප්තිය පාලනය කර එය අවනතීන් සඳහා වූ නැඹුරුවකට ගෙන ඒමට තරම් ප්‍රඥාවන්ත වූහ.

පෙරදිග අපේ තත්ත්වය ඊට වෙනස්ය. ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරන සුළුතරයක් ගැහැණුන් හැරුණු විට පෙරදිග වාසී බොහෝ කාන්තාවන් පති භක්තියෙන් කල් ගෙවද්දී ඔවුන්ගේ සහකරුවන් අව කල්ක්‍රියාවෙන් මේ ගින්දර ලංකරගත්තා පමණක් නොව තම අසරණ බිරින්දෑවරුන්ගේද ජීවිත විනාශ කිරීමට තරම් සැහැසි වූයේ කලාපයට අනන්‍ය වූ පුරුෂාධිපත්‍යයේ බල මහිමයෙනි.

විශේෂයෙන් ආසියානු උප මහාද්විපයත් අප්‍රිකාවත් ඒඩ්ස් රෝගය ගිලගනිමින් තිබෙන්නේ මේ කුහක සමාජ යදම්ද එසහාය කරගනිමිනි.

භූ කලාපයක් වශයෙන් අනාරක්‍ෂිත වූවත් අපේ දිවයින යම් තාක් දුරකට යම් ආරක්‍ෂාවක් මෙපමණ කලකට හෝ පවත්වා ගැනීමට ලැබීම එක් අතකින් වාසනාවකි. නමුත් අනාරක්‍ෂාව අපේ දොරකඩය. එනිසාම ප්‍රවේශම් වීම හැම අතින්ම සුභදායකය. එක් විශ්වාසවන්ත ලිංගික සහකරු තමන්ගේ නිත්‍යානුකූල විවාහ සහකරු / සහකාරිය පමණක්ම කරගන්න. එය අපට වඩාත් උචිතය. නැණවත්ය. තම ප්‍රථම ලිංගික සම්බන්‍ධය විවාහය සිදුවන තෙක් කල් දමන්න. එය වඩාත් ආරක්‍ෂාකාරීය. කල් පවතීය.

මේ සරල ඇවතුම් ද්විත්වය පැවතුම් කර ගත්තොත් ඔබත් රැකේය. රටත් රැකේය.