කොළඹින් බැහැර ප්‍රදේශයක සේවය කළ දයානන්ද මෙවර තම නිවෙසට පැමිණියේ මාස තුනක ඇවෑමෙනි. තම නිවෙස වෙත දිවෙන මාර්ගය වෙත හැරුණු ඔහුට තමාට තරමක් ඉදිරියෙන් තම බිරිඳ යමුනා යනවා පෙනුණි. මාස තුනකින් නොදුටු බිරිඳට තම ආදරය එක්වරම පළ කරන්නට සිතූ ඔහු වහා දුවගොස් පිටුපසින් ඈ බදා ගත්තේ ය. ඈ තිගැස්සී ආපසු හැරෙද්දී දයානන්දට තරු පෙනුණි. ඈ තම බිරිඳ යමුනා නොවේ. ඒ හා සමාන වෙනත් කාන්තාවකි.
‘අනේ නෝනා, මට සමා වෙන්ඩ. මට හිතුනේ නෝනා මගෙ පවුල කියල. පිටිපස්සට හැරිලා ඉන්න කොට නෝනා අපේ පවුල වගේමයි.’ දයානන්ද කිවේ තතනමිනි.
‘කිසිම වග විභාගයක් නැතුව මහ පාරක ඔහොම හැසිරෙනවද මිනිහො? තමුසෙට ඔළුවක් කියල දෙයක් නැද්ද, මී හරකා.’ ඈ කෝපයෙන් පුපුරමින් බැණ වැදුණාය.
‘අනේ ඇත්තමයි නෝනා, නෝනා කතා කරන්නෙත් අපේ පවුල වගේමයි’ දයානන්ද කීවේ විස්මයෙනි.